සිංහල

gov

කෝට්ටේ රාජධානියේ ඇරඹුම

සිරිලක රාජධානි නාමාවලියේ සුවිශේෂි ස්ථානයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ට හිමිවේ. ආගමික, අධ්‍යාපනික, දේශපාලනික, සංස්කෘතික හා සමාජියීය ආදී ක්ෂේත්‍රවල සුවිශේෂී වෙනස්කම් රැසක් සිදුවූ රාජධානියක් ලෙසද කෝට්ටේ වැදගත්වේ. විශේෂයෙන් සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ද කෝට්ටේ යුගයයි.

කෝට්ටේ රාජධානියේ ආරම්භය සනිටුහන් වන්නේ දහහතරවන සියවසේදී ය. එකළ පැවති ගම්පොළ රාජ්‍ය පාලනයේ බලපෙරළියක් සිදුකරමින් පේරාදෙණිය ප්‍රදේශය පාලනය කළ තුන්වන වික්‍රමබාහු විසින් පස්වන පරාක්‍රමබාහු රජු නෙරපා හැර සිහසුන අත්පත් කර ගත්තේය. තුන්වන වික්‍රමබාහු රජ බවට පත්වීමත් සමගම එතෙක් ගම්පොළ කේන්ද්‍රස්ථානය කොට රජ කළ සිව්වන බුවනෙකබාහු රජුගේ හා බලයෙන් නෙරපා හරින ලද පස්වන පරාක්‍රමබාහු රජුගේ අගමැති වශයෙන් කටයුතු කළ සේනාධිලංකාර සෙනවිරත් නැමැත්තා එම තනතුරෙන් ඉවත් කර එම තනතුරට පත්කරන ලද්දේ රයිගම ප්‍රාදේශීය පාලකයා වූ ප්‍රභුරාජ නමින් හැදින්වූ නිශ්ශංක අලගක්කෝනාර හෙවත් නිශ්ශංක අලකේෂ්වර ය.

කෝට්ටේ රාජධානියට මුලපුරා එය ශ්‍රී ජයවර්ධනපුර ‍නමින් හැඳින්වූයේ නිශ්ශංක අලකේෂවරයන්ය. රයිගම ප්‍රාෙද්ශීය පාලකයා ලෙසින්ද බලවත් වූ අලකේෂ්වර යනු මහා ධනවතෙකි. හෙතෙම වණික් වංශයට (වෙළෙඳ කුලයට) අයත් වූවෙකි. ධනයෙන් ආඪය වූ ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ බලයෙන් ආඵය වීමය. එහිලා ඔහු අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ රාජ්‍ය බලය උරුම පවුල් සමග විවාහ සබඳතා ගොඩනංවාගැනීමය. ඒ අනුව අලකේෂ්වරයන් 3 වැනි වික්‍රමබාහු රජුගේ සොයුරිය තම බිරිය කොට ගත්තේය.

ඒ වන විට ලංකාවේ උතුරේ හෙවත් යාපපටුනේ බලය උරුමව සිටියේ ආර්ය චක්‍රවර්ති නම් දෙමළ ජාතිකයාය. ඔහු උතුරේ පමණක් නොව කොළඹ, හලාවත, මීගමුව පානදුර ‍යන තොටුපළවලද බලය උරුමව සිටියේය. ඔහු මෙතරම් බලවත් වීමට බොහෝ සිංහල රජවරුන්ගේ ක්‍රියාකලාපයන් ද බෙහෙවින් ඉවහල් විය. 5වන පරාක්‍රමබාහු රජු බලයෙන් නෙරපා දමා 3 වන වික්‍රමබාහු හට සිහසුන ලබාගැනීමේදී ආර්ය චක්‍රවර්තිගේ සහය සහ ඔහුගේ පිරිස් බලයද ලැබුණ බව මෙහිලා ගෙනහැර දැක්විය හැකි නිදසුනකි. ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් මාතලේ දුම්බර, සිදුරුවාන යන ප්‍රදේශවලින් බදු අයකරගැනීමේ බලය ආර්යචක්‍රවර්ති හට පවරා තිබිණි.මේ හේතුවෙන් හෙතෙම ධනවතෙකු මෙන්ම බලවතෙකු ලෙසද වැජඹුණේය.

ආර්ය චක්‍රවර්තිගේ මේ නැගී සිටීම නොරිස්සූ අලකේෂ්වරයන් කෙසේ හෝ ආර්යචක්‍රවර්තිගේ බලය මැඩලිය හැකි පියවරක් ගැන සිතන්නට විය. දිනක් හෙතෙම ගම්පොළ සිට තම නිජබිම වූ රයිගම බලා යමින් සිටියේය. ඒ කැළණි නදියට දකුණෙන් වූ මහදරගම හෙවත් දාරුගම ප්‍රදේශය හරහාය. දාරුගම තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබූ දැඩි ආරක්ෂක ඉසවුවකි. ඒ දෙපැත්තකින් කොළොන්නා ඔයෙන් ද, එක් පැත්තකින් ද දියවන්නා ඔයෙන්ද ලෙසිනි. ඒ හැරුණුවිට මේ පෙදෙස මඩවගුරුවලින්ද ග්‍රහණ විය. මේ හේතුවේන් දාරුගමට ළඟාවීම අතිදුශ්කර විය. මේ ස්වභාවික රැකවරණය තම බලකොටුවට නැංවීමට අලකේශ්වරයන් හට ඉතා ප්‍රමාණවත් විය. තවද දාරුගම පිහිටියේ එකලද ආර්ථික අතින් ආඪය කොළඹ නගරයේ සිට සැතපුම් 06 ක් දුරිනි. මේ සමීප බව කොළඹ ද බලය පිහිටාගෙන සිටි ආර්ය චක්‍රවර්තිගේ බලය දුබල කිරීමට අලකේශ්වරයන් හට රුකුලක් විය. තවද පෙර කී ලෙසින් කොළඹ හලාවත මීගමුව පානදුර තොටුපොළවලටද ආර්ය චක්‍රවර්ති සතු වෙළෙඳ ‍යාත්‍රා නිතර දෙවේලේ පැමිණියේය. ජලයෙන් ගොස් ඒවා වැනසීමට අලකේශ්වරයන් මාන බැලුවේය. මෙහිදී ප්‍රහාරක යාත්‍රා ඒ තැන් වෙත යවා ප්‍රහාර එල්ල කර එසැණින් ඒවා නැවත ගෙන්වා ගැනීමට ඔහුට අවැසි විය. මේ සඳහාත් ශක්තිමත් නාවික බලයක් තිබිය යුතුය. ඒ සඳහා දාරුගම පිහිටි ජලාශ්‍රිත පරිසරය ඉමහත් ආශිර්වාදයක් විය.

මේ සියලු සාධකයන් සැලකිල්ලට ගත් අලකේශ්වරයන් ආර්ය චක්‍රවර්තිගේ බලය දුබල කිරීමට බලකොටුවක් තනා ගැනීමට දාරුගම හෙවත් කෝට්ටේ හෙවත් ජයවඩන භූමිය යන අරුත් ගැන්වෙන ශ්‍රී ජයවර්ධනපුරය තොරාගත්තේය.

අලකේශ්වරයන්ගේ ඇවෑවෙන් ශ්‍රී ජයවර්ධනපුරය රාජධානියක් බවට පත්විය. එය හුදෙක් සාමාන්‍ය මට්ටමේ රාජධානියක් නොවීය. දේශපාලනික සාමාජයීය අධ්‍යාපනික සාහිත්‍යයික වශයෙන් අතිශය වැදගත් කමක් ඉසුලූ විටෙක රටේ දේහපාලන ගමන් මගේ ඉරණම තීන්දු කළ අතිශය වැදගත් සිදුවීම් රැසකට පසුබිම් වූ රාජධානියක් විය.